වැස්සත් සමග එන ඩෙංගු මාරයා | Dengue Fever


ඩෙංගු රෝගය කියන්නේ කුමක්ද?
ඩෙංගු කියන්නේ වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගී තත්වයක්. මෙම වෛරසයේ දර්ශ එහෙමත් නැත්නම් ආකාර 4ක් දක්නට පුළුවන්. Denv1, Denv2, Denv3, Denv4  ආකාරයට.

ඩෙංගු රෝගය අපිට පහත ආකාරයට වර්ගීකරණයක් කරන්න පුලුවන්.
1.ඩෙංගු උණ (Dengue Fever)
මේ අවස්ථාවේදී රෝග ලක්‍ෂණ ඇතිව හෝ නැතිව ඩෙංගු රෝගී තත්වය ඇතිවිය හැක.

2.උග්‍ර ඩෙංගු රෝගය (Severe Dengue )
මෙම අවස්ථාවේ අවධි කිහිපයක් දැකිය හැක. ඒ තමයි ප්ලාස්ම තරල කාන්දුව, රක්තපාත තත්වය, ඉන්ද්‍රීය අකර්මණ්‍යතා කියන ආකාර කිහිපය.

ඩෙංගු රෝගය බෝවන්නේ කෙසේද?
ඩෙංගු බෝකරන්නේ මදුරු  විශේෂ දෙකක් මගින්. ඒ තමයි ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) හා ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) කියන. මොවුන් අපි වාහකයන් කියලා හදුන්වනවා. ඩෙංගු රෝගියෙකුට මදුරුවෙක් දෂ්ට කිරීමෙන් මදුරුවන් හරහා ඩෙංගු රෝගය පැතිරීම සිදු වෙනවා.


ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus)


ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti)  

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?
ආසාදිත ඩෙංගු මදුරුවන් දෂ්ට කරන සෑම පුද්ගලයෙකුටම අවදානමක් තියෙනවා නමුත් පුද්ගලයාගේ වයස හා ප්‍රතිශක්තිය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැක.

උණ රෝගයක් සෑදුනු විට ඩෙංගු කියලා සැක කල යුත්තේ ඇයි?
සාමාන්‍ය උණ තත්වය හා ඩෙංගු උණ තත්වය වෙන්කර ගන්න අපහසු නිසා උණ හැදුනොත් රෝග ලක්‍ෂණ ගැන සැලකිලිමත් විය යුතුයි.

ඩෙංගු රෝග ලක්‍ෂණ ගැන ඔබ දැනුවත් ද?
සාමාන්‍යයෙන් වෛරසය ශරීර ගතවී දවස් 4 – 7 අතර රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. නමුත් සෑම විටම රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමක් නොකරයි.
1. තද උණ
2. හිසරදය හා ඇස් යට වේදනාව
3. මස් පිඩු හා සන්ධි වේදනාව
4. කෑම අරුචිය හා වමනය
5. සමෙහි රතු පැහැ ලප
6. රුධිර වහන තත්වයක්


ඩෙංගු රෝගය නිශ්චය කරගන්නේ කොහොමද?
රෝග ලක්‍ෂණ ඇති බවට සැක කරන රෝගීන් තහවුරු කරගන්න රසායනාගාර පරීක්‍ෂණ සිදු කරනවා. අපි එදිනෙදා කියන ලේ එකක් බලන්න කිව්ව කියන ඒ පරීක්‍ෂණ කිහිපය මේ විදියට දක්වන්න පුළුවන්.

1. සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (Full Blood Count) 
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ බොහෝ දෙනා FBC කියලා හදුන්වනවා.
මෙහිදී සුදු රුධිරාණු (WBC කියලා දක්වලා තියෙන) ගණන අඩු වෙලා, රුධිර තරල පරිමාව අඩු වෙලා, රුධීර සෛල ඝණත්වය (PCV) අගය වැඩි වීම මෙන්ම රුධිර පට්ටිකා (Platelet Count) ප්‍රමාණය අඩු වීම මගින් රෝග විනිශ්චය පහසු කරනවා.

2. ප්‍රතිදේහ පරීක්‍ෂාව (Detection of Antibody)
3. ප්‍රතිදේහ ජනක පරීක්‍ෂාව (Detection of Antigen)
මේ පරීක්‍ෂණයන් මගින් තහවුරු කරගන්න පුළුවන් ඩෙංගු රෝගය.

අනිත් වැදගත් ප්‍රශ්ණය තමයි ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකිද කියන එක
ඒක‌ට උත්තරේ තමයි ඔව් කියන එක. අපි කලින් කියපු වගේ වෛරසයේ ප්‍රභේද 4ක් තියෙනවා. යම් පුද්ගලයෙක් එක් වෛරස් දර්ශයක් සදහා ප්‍රතිශක්තිය ලබා ගත්තද ඔහුට වෙනත් වෛරස දර්ශයක් මගින් ඩෙංගු රෝගය සැදීමේ හැකියාව තියෙනවා. මෙම දෙවැනි අවස්ථාවේදී මෙම පුද්ගලයාට ඩෙංගු රක්තපාත තත්වය සෑදීමේ අවධානමක් තියෙනවා.

ඩෙංගු රක්තපාතතත්වය (DHF)
ඩෙංගු රෝගයේ ඇතිවිය හැකි අවධානම් අවස්ථාවක් තමයි රක්තපාත තත්වය කියන්නේ. මුල් අවස්ථාවේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝග ලක්‍ෂණ සමාන වේ. මේ හේතුව මත වෙන් කරලා හදුනා ගන්න අපහසු වෙන්න පුළුවන්.
උණ බැස යාමත් සමග ප්‍රධාන රෝග ලක්‍ෂණය ලෙස රුධිර වාහිනී වලින් පිටතට ප්ලාස්ම තරලය කාන්දු වේ. මේ තත්වය උණ සෑදී 3 වන දවසින් පසු සිදුවන අතර එය රුධිර පරීක්‍ෂණ මගින් හදුනා ගන්න පුළුවන්.
මෙම තත්වය නොදැනුවත් කමින් රෝගියා කම්පණ තත්වයට පත්වීමේ අවධානමක් පවතී. සමහරුන් මෙම කම්පණ අවස්ථාවට පෙර රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනු ලබනවා. ඒ හේතුව මත අවධානම්  රෝග ලක්‍ෂණ ගැන දැන සිටීම වැදගත්.

ඩෙංගු රක්තපාතතත්වයේ අවදානම් ලක්‍ෂණ
1. උදරයේ ඇතිවන තද වේදනාව
2. නොනවත්වාම වමනය පැවතීම
3. අධික නිදිමත, නොසන්සුන් බව, අප්‍රාණික බව ශරීරයට දැනීම
4. රුධිර වහනය වීම. 
මේක ආකාර කිහිපයකට වෙන්න පුළුවන් විදුරුමසෙන්/ නාසයෙන් / දුඹුරු පැහැ වමනය/ කළු පැහැ මල පහවීම ලෙස.
5. පැය 6 කට වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.




අවදානම් ලක්‍ෂණ නොමැති උවද ගර්භනී මව්වරු, අවුරුදු 1ට අඩු දරුවන්, අධි බර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයන් රෝහල් ගතවිය යුතුය.
 
වැදගත්ම දේ අපි උණ ඇති වූ විට කළ යුතු දේ?
1. හොදින් විවේක ගැනීම
2. නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුල පැරසිටමෝල් ඖෂධය ලබා දීම.
3.ඇස්ප්‍රීන් වැනි වේදනා නාශක ඖෂධ ගැනීමෙන් වැලකීම.
4. සැහැල්ලු පෝෂධායී ආහාර වේලක් ගැනීම.
5. උණ පවතින කාල සීමාව තුල මදුරු දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා වෙන්න


උණ හැදුනම අපි කන්න ඔන ආහාර මොනවද?
උණ හැදුනම එන වමනයත් එක්ක විජලන තත්වයන් එන්න පුලුවන් ඒක වලක්ව ගන්න නම් ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කර යුතුයි. එහෙම පානය කරන්න පුලුවන් දියර වර්ග තමයි තැඹිලි වතුර, කැද, කිරි, ජීවනී, පලතුරු යුෂ වර්ග. ළමුන්ට නම් ග්ලුකෝස් වැනි සීනි සහිත ද්‍රාවන ලබා දෙන්න පුලුවන්.
තෙල් සහිත ආහාර ලබා ගැනීම වලකින්න.


අභ්‍යන්තර රුධිර වහන තත්වයන් හදුනා ගැනීම අපහසු වෙන හන්ද රතු දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීම වලකින්න.

ඩෙංගු රෝගීන්ට සංකූලතා එනවද?
සාමාන්‍යයෙන් සංකූලතා එහෙමත් නැත්නම් අතුරු ආබාධ නොමැති උවද රක්තපාත තත්වයේදී හා අසාමාන්‍ය ‌‌‌ඩෙංගු උණ වැනි තත්ව වලදී මෙම රෝගීන්ගෙන් සුලු ප්‍රමාණයකට සංකූලතා ඇති වෙන්න පුළුවන්.
නිසි ප්‍රතිකාර වලට යොමු වීම මගින් මෙම තත්වය අවම කර ගැනීමට හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරු දෂ්ටනයෙන් ආරක්‍ෂා විය යුත්තේ ඇයි?
ඩෙංගු උණ පවතින අවස්ථාවේ රෝගියා තුල වෛරසය පවතිනවා. එවැනි අවස්ථාවක දෂ්නටයක් මගින් ප්‍රජාව වෙත රෝගය පැතිරීම වැලැක්වීම සදහා.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්ටද?
බොහෝ විට උදෑසන 6 හා 10 අතරද සවස් කාලයේ 4 සහ 6 අතර කාල සීමාව තුල.

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන මොනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේද?
ස්වාභාවික වගේම මිනිස් ක්‍රියාකාරකම් මගින් නිර්මාණය උණ දේ වලත් මේ මදුරුවෝ බිත්තර දානවා.




මදුරුවන් දෂ්ථ කිරීමෙන් වැළකෙන්නේ කෙසේද?
1.සිරුර හොදින් ආවරණය වෙන ඇදුම් භාවිතය
2.මදුරු දැල් භාවිතය
3.පැගිරි තෙල් වැනි මදුරු විකර්ෂක භාවිතය



ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන්නේ කෙසේද?
1.ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම මෙන්ම එසේ කළ නොහැකි දෑ මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කිරීම. 
2.වැහි පීලි වල කොල රොඩු ආදිය ඉවත් කිරීම.
3.ශිතකරන තැටි හා විසිතුරු ජල බදුන් දාර හොදින් අතුල්ලා පිරිසිදු කිරීම.
4.ළිං වැනි වතුර එකතු වන තැන් ආවරණය කිරීම.
5.සතියකට වරක්වත් මදුරුවන් බෝවන තැන් පරීක්‍ෂා කර  අවට පරිසරය හා ගෙතුල හොදින්  පිරිසිදු කිරීම.



"ඔබ අවට පරිසරය පිරිසිදු කරගැනීමට වැය කරන සෑම කාලයකින්ම ජිවිත සුරක්‍ෂික වේ."


තවත් ‌කෙ‌‌නෙක්ට දැනගන්න Share කරන්න වගේම ඔබේ අදහසුත් පහළ  Comment කරන්න අමතක කරන්න එපා.

වීඩියෝ පිටපත නරඔන්න.








Post a Comment

1 Comments